බල්ලන් මරා හෝ සල්ලි සෙවීය යුතුය, නැති නම් බල්ලෙක් ලෙස මිය යා යුතුය. - මා දුටු ධනවාදය.

Friday, February 22, 2013

ජීවිතේ...







A- "උඹේ ජීවිතේ කියන්නේ...ඉස්කෝලෙයි, ටියුෂන් පන්තියයි, ගෙදර ඇවිල්ලා පොත දිහා බලගෙන ඉන්න එකයි විතරනේ"

 B- "මට විභාගේ හොඳට පාස් වෙන්න ඔනේ ! නැත්නම් අල්ලපු ගෙදර එකා වගේ එක එකාට කඹුරන්න තමයි වෙන්නේ... "

A- "ඔව් උබ ඊට පස්සෙ කැම්පස් යාවි, එකේත් උඹේ ජීවිතේ ක්ලාස් රූම් එකයි පොත් ටිකයි වේවි."

B- "ඉතින්, නැතුව කොහොමද හොඳ ජොබ් එකකට යන්නේ... "

A- "කැම්පස් ඉවර උනහම, උඹ කියන තාලේ හොඳ ජොබ් එකකට යාවි, එතනින් උඹට හොඳ පඩියක් එක්ක කාර් එකකුත් හම්බවේවි."

B- "ඉතින් එකනේ මම කියන්නේ මෙහෙම ඉගෙන ගන්නේ නැතිව එතනට යන්න බැහැ."

A- "ඒත් උඹට සතියකට දවස් 6ක් වැඩ කරන්න වේවි. සමහර දවස් වලට රෑටත්,"

A- "උඹේ ගෑණිට උඹව එපාවේවි; සමහර විට ඒකි අලලපු ගෙදර එකත් එක්ක පැනලා යාවි "

A- "මොකද උඹ ජීවිතේ විඳින්න ඉගෙන ගත්තේ නැති නිසා. "

A- "දැන් බලපන් අල්ලපු ගෙදර එකාද වැඩියෙන් කඹුරලා තියෙන්නේ උඹද? "

Monday, November 5, 2012

අද්‍යාපනයේ යථාර්තය...


                නිදහස් අධ්‍යාපනය... ඔයාලා කියනවා ඇති මේ යකා ලිව්වොත් ලියන්නේ නිදහස් අධ්‍යාපනය ගැන කියල. ඔව් මට ඒකට හේතුවක් තියනවා. ඒ මට එක කෙලින්ම බලපාන දෙයක් මොකද මමත් නිදහස් අධ්‍යාපනය තුල ඉගෙන ගන්න කෙනෙක්. නමුත් නිදහස් අධ්‍යාපනය, ලංකාවට ගැලපෙන හොදම අධ්‍යාපන ක්‍රමය කියලා මම දකින්නේ නැහැ, මොකද හොදම අධ්‍යාපන ක්‍රමය තුල සියලුම ඉගෙන ගැනීමට කැමති, ඉගෙන ගැනීමට හැකි, සියලුම දෙනාට තම අධ්‍යාපන අයිතිය තිබිය යුතුයි.  නමුත් වර්තමාන නිදහස් අධ්‍යාපන රටාව තුල මේ දේ කොපමණ දුරට සාර්ථක වී ඇතිදැයි ඒ ඒ විශ්ව විද්‍යාල තුලට ඇතුලත් වීමට ඇති තරඟය දිහා බැලුවහම පේනවා.  නමුත් මෙතනින් අදහස් කරන්නේ නැහැ පාලක පැලැන්තිය ගේන පුද්ගලික අධ්‍යාපන ආයතන මේකට විසඳුම කියන එක. ඒක තියන හකුරත් නැති කර ගන්නවා වගේ වැඩක්.
                                 අනිත් මා දකින කාරණය නම්  මේ විශ්ව විද්‍යාලය තරඟය තුල සිටින පිරිස තුල මුල් බැසගෙන තිබෙන, විශ්ව විද්‍යාල අධ්‍යාපනය සුදුසු  z ලකුණු අනුව විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබුවන්ට පමණක් බව. නමුත්  සියලු දෙනාට අමතක වෙන කාරණයක් තියනවා ඒ z අගය නිර්මාණය කලේ විශ්ව විද්‍යාලයට ඇතුලත් වන ප්‍රමාණය පාලනයට කියන එක. විශ්ව විද්‍යාල වලට තේරුණු සිසුන්, විශ්ව විද්‍යාල වලට සුදුසුකම් නොලැබූ  සිසුන් ගැන කතිකාවතක් ගේන එන්නට උත්සහ නොකරන්නේ ඔවුන්ගේ තරගකාරිත්වය මත ගොඩ නැගුනු කුහකත්වය නිසයි කියලා මට සිතෙන්නේ. ඒ කියන්නේ සුදුසුකම් තියන විශාල පිරිසක් එළියේ ඉන්නවා. ගොඩක් රටවල් වල උසස් පෙළ අසමත් වීම විශ්ව විද්‍යාල අධ්‍යාපනයට බාධාවක් නෙවෙයි පදනම් පාඨමාලා හරහා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබා ගන්න පුළුවන්. සරල උදාහරණයක් සඳහන් කරන්නම්. උසස් පෙළ විද්‍යා අංශයෙන් c 3 ක් ගන්න සිසුවියකට වෛද්‍යවරියක් වෙන්න ආසාව තිබුනත්, සුදුසුකම් තිබුනත් ලාංකීය විශ්ව විද්‍යාල පද්ධතියේ තියන පහසුකම් හිගයේත් වෙනත් රටක අධ්‍යාපනයට තරම් ආර්ථිකය ශක්තිමත් නැති නිසා ඇයට සිදු වෙනවා වෙන අතක්  බලා  ගන්න සිද්ද වෙනවා නමුත් s දෙකක් ගත්ත වෙන රටකට ගිහින් ඉගෙන ගන්න පුළුවන් කෙනෙකු වෛද්‍යවරියක් වෙනවා. ඒ වගේ අවස්ථාවලදී කවුරුවත් දකින්නේ නැහැ z වත් උසස් පෙළ ප්‍රතිපලයවත්, එවැනි විශාල පිරිසක් ගැන කිසිම විශ්ව විද්‍යාල සිසුවෙකුවත්, ගුරුවරයෙකුවත්, දේශපාලකයේක්වත් කතා කරන්නේ නැහැ.
               
                          මෙම ගැටලුව දඩ මීමා කරගන්නේ ලක්ෂ 80 විතර දීල ඕන ගොනෙක්ට උපාදියක් ගන්න පුළුවන් සුපර් මාකට් එකක් හදන්න යනකොට විතරයි. මම මෙතන අනුමත කරන්නේ නැහැ රජය විසින් ගේන පුද්ගලික විශ්ව විද්‍යාල ගැන,ඒ අවස්ථාවෙදි හැමොටම තෙරෙනවා, එම විශ්ව විද්යාල වලින් ඉගෙන ගන්න පුලුවන් බොහොම සුලු පිරිසකට පමනයි කියලා,නමුත් රාජ්ය මැදිහත් වීමෙන් යම් මුදලක් පමනක් සිසුවාගෙන් අයකරමින් විශ්ව විද්‍යාල අද්‍යාපනය ලබාදෙන්න පුලුවන් ක්‍රමවෙදයක් සකසන්න බැහැ කියන කතාව නම් බොරුවක්. වර්තමාන රජයේ පුද්ගලික අද්‍යාපන ප්‍රතිපත්තියේ මූලිකම අවශ්‍යතාවය වෙන්නේ අද්‍යාපන වගකීමෙන් රජය නිදහස් වෙන එක. බොහෝ රටවල අද්‍යාපනය වෙනුවෙන්මුදල් සිසුන්ගේ දෙමවුපියන් වියදම් කරන්නේ නැහැ(විශ්ව විද්‍යාල අද්‍යාපනය සම්බන්දයෙන්) එවා සිසුවා විසින්ම සොයාගන්නවා නමුත් ලංකාවෙ තත්වේ මීට වඩා ගොඩක් වෙනස්, අවුරුදු 18 ට වැඩි සිසුන් පවා බලපොරොත්තු වෙනවා තමන්ගෙ අම්මා තත්තා තමන් වෙනුවෙන් මුදල් වියදම් කරනකම්, අවුරුදු 25 විතර වෙලා උපාදිය අරගෙන රැකියාවක් කරනකම් බොහෝ දෙනෙක් ගෙදරින් තම වියදම බලාපොරොත්තු වෙනවා, මේක තමයි යථාර්තය. ඒ වගෙ ක්‍රමයක් තුල කවදාවත් නිදහස් අද්‍යාපනයෙන් පිට රටට ගැලපෙන අද්‍යාපන ක්‍රමවේදයක් ගැන හිතන්න අමාරුයි,
                    
                        මෙ සම්බන්දයෙන් කාටවත් වරදක් කියන්න අමරුයි මේ ක්‍රමය හැදිලා තියෙන්නෙ ඒ ආකාරයට, බොහො රටවල විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් සැකසූ රැකියා අවස්ථා තිබෙනවා, ඔවුන්ගෙ අද්‍යන කාලයෙන් පරිබාහිරව කරගෙන යා හැකි. නමුත් අපි හැමදාම කෑගහුවෙ නිදහස් අද්‍යාපනය රැක ගන්න විතරයි ඉන් එහා පියවරක් ගැන හිතන්න, රටට ගැලපෙන, සමස්තයට අද්‍යාපනය ලැබිය හැකි ක්‍රමයක් ගැන හිතන්න මේ රටෙ ප්‍රගතිශිලී යැයි කියා ගන්නා මිනිසුන්ට පවා නොහකි වූයේ තමන්ගේ කුහකත්වය නිසාද යන්න ගැටලුවක්

              අපිට මේ අද්‍යාපන ක්‍රමය තුල යම් සර්ථකත්වයක් ලබාගන්න නම් අනිවර්යයෙන්ම තරගකාරී විය යුතුයි, අනෙකාව පරයා කෙසේ හෝ තමන් ඉදිරියට යා යුතුයි එක තමයි මේ ක්‍රමය තුල යථාර්තය වෙලා තියෙන්නේ. පෙරපාසල් අද්‍යාපනයේ සිට විශ්වවිද්යාල අද්‍යාපනය දක්වා මෙවන් ක්‍රමයක් තුල අද්‍යාපනයක් ලැබූ පරපුරකට තවත් පිරිසක් ගැන හිතන්න පුරුදු කරන එකත් විශාල ජයක් ග්‍රහනයක්,,, 

                            තරගකාරිත්වය මත දක්ෂයන් ගොඩනැගෙනවා වුනාට අධික තරඟකාරීත්වය මත ගොඩනැගෙන්නේ කුහකයින් විතරයි.

Friday, October 5, 2012

පාලකයාගේ පාර පොතක් නැති රටකට...


පිරිසක් ආතල් ගන්න අතරේ
තවත් එවුන් විප්ලව කරයි...
එකෙකු දෙන්නෙකු හුල්ලයි
බැරි දේවල් කරන්නේ මොකටද කියා කියා...
බනියි ඇදුරන්ට,
හිතන්නේ නැතිව පඩි ගැන
උගන්නපන් අපට...
නොපෙනෙයි උන්ට සියට හය ගැන
තව බලපන් ITN හොඳට...
උපාදි කඩ ඇරෙයි තැන තැන
ඇරලා නිදහස් ඉගෙනුමට...
මර්ධනය හැම තැන
රට්ටුන්ටත් ගානක් නැ එකට...
වැඩක් නැ උන්ට ඒ ගැන
බනින්නෙම අරගලයට...
උන් අරගල කලේ හිතල තොපි ගැන
අරන් යන්න නෙවෙයි ගෙදරට...
මරුනේ උන් තැන තැන
පොත් දෙන්න තොපිට...
හිතපන් හෙට ගැන
පාලකයාගේ පාර පොතක් නැති රටකට...

Monday, August 27, 2012

නිදහස් අධ්‍යාපනයට එරෙහි ආණ්ඩුව

                        
                                       එස් බී දිසානායක යනු මේ දින වල රට පුරා ඇසෙන නම් අතරින් ප්‍රධාන නමකි. එනම් එය එසේ වුයේ උසස් අධ්‍යාපනය නමැති මාතෘකාව තීරණාත්මක මොහොතක පැවතීම හා එස් බී එය භාර ඇමති වීම නිසා වේ. වර්තමාන ආණ්ඩුව සතුව ඉතිහාසයේ විශාලතම ඇමති මණ්ඩලය සිටියත් එස් බී වැන්නෙකුට උසස් අධ්‍යාපනය භාර දීම එක්තරා ආකාරයකට ගැටලුවකි. ඔහුගේ කාලය ගත් විට එම කාලය තුල ඔහු, ඔහුගේ විෂයට කල සුභදායි දෙයක් නැත. හුදෙක් අර්බුධ පමණක් ඉතිරි වූ අමාත්‍යංශයක් ඔහු සතුව ඇත. z ලකුණ කවදාවත් හරි ගැස්සවිය නොහැකි අඩියක තිබියදී, පේපරයටද කෙලවා ඇත, විශ්වවිද්යාල විවෘත වන පාටක්ද නැත. එස් බී ට මේවා විහිළුවකි, මාධ්‍ය ඉදිරිපිටදී ඔහු හොඳ විකට නළුවෙකි, අධ්‍යාපනය යන තැනදී අසරණ වූ සිසුවාට මේවා දකින විට ඇතිවන සන්තාපය සුළුපටු නොවේ. වගකිය යුත්තාගේ හැසිරීම මෙසේ වී තිබියදී ඔහුට ගැලපෙන විෂයක් ලබාදීමට තරම් අර්බුධය ගැන වැටහීමක් ලොක්කාට නැත, පුද්ගලිකව ගත් කල ඔහුගේ පුතා නම් වාර්තා තැබීමට සුදානමකින් සිටියි. එහෙත් ඔහුට කතිරය ගැසූ ගමේ මිනිසාගේ දරුවාගේ අසරණ කම ඔහුට විහිළුවකි. අනිත්වාට මහා පරිමාණයෙන් වියදම් කිරීමට පසුබට නොවන ආණ්ඩුවට, අධ්‍යාපනය වෙනුවෙන් 6% ක් යනු මාස ගණන් සිතිය යුතු ගැටලුවකි. ආසියාවේ ආශ්චර්යය යනු සමස්ත අධ්‍යාපන පද්ධතියම වැසිකිලි වලක් කිරීමටද?, යන්න ලොක්කාගෙන් ඇසිය යුතුය.
                
                                        එස් බී ගෙදර යනු, විරෝධතා වලදී ප්‍රධාන සටන් පාටයක් වී ඇත, එස් බී ගෙදර ගිය පමණින් ගැටලුව විසදේද යන්න ගැටලුවකි. අපි වරද්දා ගන්නේ මෙතනදීය. මන්දයත් එස් බී ට බාර කටයුත්ත ඔහු හොඳින්ම කරගෙන යයි. කුමන හේතුවක් මත හෝ ඔහු වෙනුවට වෙන කෙනෙකු මාරු උවත් සිදුවන ක්‍රියාදාමයේ වෙනසක් බලාපොරොත්තු විය නොහැක. සමස්ත අධ්‍යාපන පද්ධතිය ගැන ජනතාවගේ විශ්වාසය පිරිහෙමින් පවතියි. එනම් දැනට ඉතිරි වී පවතින නිදහස් අධ්‍යාපනයේ මළගම වැඩි ඇතක නැත. එදා වේල අමාරුවෙන් සොයා ගන්න මිනිසුන් සිටිනා රටකට ජාත්‍යන්තර පාසල්, පුද්ගලික විශ්වවිද්යාල සදාකාලික සිහිනයකි. එසේ නම් නිදහස් අධ්‍යාපනයට පයින් ගසා ගෙන ඒමට යන ක්‍රියාවලිය කුමක්ද? හැමදාම තාත්තලා පුතාලට ආණ්ඩු කරගෙන යාමට හැකි මුග්ධ පරපුරක් ගොඩ නැගීම නොවේද? ලෝක බැංකුව කියන්නේද, ආසියානු සංවර්දන බැංකුව කියන්නේද මේ ආකාරයටමය, මේ ක්‍රමය  ඔවුන්ගේ අදිරාජයවාදය වපුරන වියපෘති වලට කදිම තෝතැන්නකි. යථාර්තය වී ඇත්තේ නිදහස් අධ්‍යාපනය රටේ ජනතාවගෙන්ම එපා කියන තත්වයට අධ්‍යාපන පද්ධතිය ගෙන ඒමයි. එක දිගට සිදුවන වැරදීම් අහබුවක්යයි මේ වාතාවරණය තුල කිසිවෙකුටත් කිව නොහැක. එස් බී ගෙදර ගිය පමණින් මෙය ඉවර වන්නේ නැත. මෙම ක්‍රියාදාමය සිදුවන ආකාරයේ යම් වෙනසක් පමණක් බලාපොරොත්තු විය හැක.

                                 නිදහස් අධ්‍යාපනය තීරණාත්මක මන් සන්දියකට පැමිණ ඇත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පමණක් නොව සිසුන්ද අරගලයක යෙදෙන්නේ නිදහස් අධ්‍යාපනය සුබදායී මාවතකට හැරවීමටය, මේ මොහොත නැවත අපට ලබා ගත හැකි වෙයි කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක. අධ්‍යාපනයට 6% ක්, අධ්‍යාපනයේ සාර්ථකත්වය ගැන සිහින දකින්නෙකුට දැකිය හැකි හොඳම සිහිනයකි. මෙම ඉල්ලීම ආණ්ඩුව තුට්ටුවකට මායිම් කර නැත, අඩුම තරමින් එය ලබා නොදිමට හේතු පවා ඔවුන් ප්‍රකාශ කර නැත. නලින්ද සිල්වාට අනුව 1.8% ත් වැඩි ගණනකි, ඔහු කියන්නේ මෙම අධ්‍යාපන ක්‍රමය තුල රටට සිදු වූ යහපතක් නැති බවයි. යහපතක් සිදු වී නැත්නම්, යහපතක් සිදු කිරීමට හැක්කේ, තිබෙන ගන්නත් අඩු කර නිදහස් අධ්‍යාපනය විනාශකර දමා, පුද්ගලික අධ්‍යාපනය රට තුල පිහිටුවා ඇති හැකි මිනිසුන්ගේ දරුවන්ට පමණක් ඉගෙන ගැනීමට හැකි අධ්‍යාපන ක්‍රමයක් පිහිටුවීමෙන්ද යන්න ගැටලුවකි. යුක්ති එකධිර ITN හිදී, සරසවි සිසුවෙකු ලෙස කියන්නේ සිසුවාගේ ඔවුන් සරසවියට පැමිණියේ අරගල කිරීමට නොවන බවයි, අරගල කිරීමට හේතුවක් නැති තැන අරගල නොකළ යුතුය. නමුත් අරගලයක් කල යුතු තැනක ඇස් කන් පියා සිටීම පිරිමියෙකු හෝ ගැහැනියක් නොවන මිනිසෙකුගේ ලක්ෂණයකි. යුක්තිලා බුලේගොඩලා වැටෙන්නේ මේ ගණයටය, ආණ්ඩුවේ සීනිබෝලයද ඔවුන්ට ලොකු දෙයක් වී තිබේ.

                          මේ මොහොතේ සිදුවෙමින් පවතින ආචාර්ය වැඩ වර්ජනය සම්බන්දයෙන් ආණ්ඩුව දිගින් දිගටම කියා සිටින්නේ මෙය හුදෙක් පඩි වැඩි කර ගැනීම පමණක් ය කියාය, මෙමගින් පැහැදිලි වන්නේ ආණ්ඩුව ආචාර්යවරුන්ගේ ඉල්ලීම් පවා හරි හැටි වටහා නොගෙන ඇති බවය. ඒ තරම්වත් ඔවුන් මේ දෙස අවදානය යොමු නොකරන්නට ඇත. ඔවුන්ගේ වැටුප් සම්බන්දයෙන් ඇති ගැටළු පසෙක තබා සමස්ත අධ්‍යාපනයේ ගැටළු වලට පමණක් පිළිතුරු සොයයි. එස් බී අධ්‍යාපනය වෙනුවෙන් කල එකම දෙය නායකත්ව පුහුණුවක් යයි කියමින් ආණ්ඩුවේ නවක වදයකට සිසුන් යොමු කිරීමයි,  මෙයට සහභාගී නොවූ  සිසුවාට සරසවි යාමට  නොහැක, .  තවද මේ සඳහා සහභාගී වුවන්ට ලැප් ටොප් ලබා දෙන බව කීවත් ලැප් ටොප් තියා පරණ ඩෙක්ස්ටොප් එකක් වත් ලබා දී නැත. එක පැත්තකින් තරවටු  කරන අතර අනිත් අතින් බොරු පොරොන්දු දෙමින් සිසුවා මුලාකරයි. මෙහි අතුරු ප්‍රතිපලයක් ලෙස අබාදයකට ලක්වූ නවක සිසුවියක් වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු වුයේ රුහුණු සරසවියේ ජෙෂ්ට සිසුවියන් දෙදෙනෙකුටය, ඔවුන්ට තවමත් නිදහස ලැබී නැත, නායකත්ව පුහුණුවෙන් සිදුවූ අබාදය මෙම සිසුවියන් දෙදෙනාට ලඝු කොට ඇත. යථාර්තය වී ඇත්තේ තවත් යුක්තිලා පිරිසක් බිහිකරමින් ගැත්තන් පිරිස වැඩි කර ගැනීමට ආණ්ඩුව උත්සහ කිරීමයි.

                       මීට දින කිහිපයකට පෙර පැවති, "ජනපති ජන හම්වුවෙදී" ලොක්කා හැගීම් බර වදනින් පැවසුවේ මේ රටේ දරුවන්ට ඔහු කිසිදා අසාධාරණයක් නොකරනු ඇති බවයි. ඇස් පනාපිට නිදහස් අධ්‍යාපනය නමැති නැව ගිල්වමින් ඔහු මෙසේ කියන්නේ තවමත් මිනිසුන් ඔහු කෙරේ තබා සිටිනා අන්ද විශ්වාසය හේතුවෙනි.  ඔහුගේ කතාවේ අන්තර්ගතය කුමක් වුවත්, හැගීම් බර වදන් වලට මිනිසුන් රැවටී ඇත, තවමත් බොහෝ දෙනා සිතා සිටින්නේ ආචාරය අරගලයේ සම්පුර්ණ වැරද්ද ඇදුරන්ගේ කියාය, හුදෙක් මෙයින් පැහැදිලි වන එක දෙයක් ඇත එනම් කොපමණ දැනුවත් කිරීම් සිදු වුවද ආණ්ඩුවේ වැරද්ද පිලිගැනීමට හැකි ජනතාවක් තවමත් නිර්මාණය වී නොතිබීමය. නලින්ද සිල්වා කියන පරිදි මේ අවස්ථාවේ වටින්නේ රණවිරුවා පමණක්ය, රණවිරුවා කියූ සැනින් ජනතාවට මුලින්ම හිතට එන්නේ ලොක්කාය, නැත්නම් ලොක්කාගේ මයිලනුවන්ය, මේ ආකාරයේ මානසික ප්‍රහාරයකට ජනතාව මුහුණ දී ඇත. ජනයා ඉදිරියේ තවත් අබියෝගයක් තබා ඇත. එනම් දෙමළාට එරෙහිව කල සටන මුසල්මානුවටද එල්ල කිරීමයි. ඉතින් කොහෙන්ද අධ්‍යාපනයක් ගැන හිතන්න ඉඩක්.

                                       කෙසේ වෙතත් විශ්වවිද්යාල අර්බුධය හරහා සටනට පැමිණ සිටිනා ආචාර්යවරුන් හා සිසුන් ගේ දිගින් දිගටම සිදුවන බලපෑම මේ වන විට ආණ්ඩුවට දැනී ඇත. ප්‍රගතිශීලී ජනතාව හරහා ගොඩ නැගෙන බලවේගය පුළුල් වෙමින් පවතී, ආචාර්යවරුන්ගේ පාර්ශවයෙන් නලින්ද සිල්වලාද  හා  සිසුන්ගේ පාර්ශවයෙන් යුක්ති එකධිරලාද උත්සහ කරන්නේ මෙම සටන අවුල් කිරීමටයි. අරගලයකදී යම් යම් පරිත්‍යාග කිරීමට සිදුවෙයි, ශිෂ්‍යයන් ලෙස අපගේ උපාධිය තවත් අවුරුද්දක් පස්සට යාමට ඉඩකඩ තිබුනත් සමස්ත අධ්‍යාපන පද්ධතියක් වෙනුවෙන් අපට ඒ කැප කිරීම කල යුතුව ඇත, නැතහොත් නිදහස් අධ්‍යාපනය යටතේ අධ්‍යාපනය ලබන අවසාන පරපුරද අපි විය හැක. එස් බී ගෙදර යැවූ පමණින් සියල්ල යථා තත්වයට පත් වෙන්නේ නැත. ශ්‍රී ලාංකිකයාට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයකින් පමණක් මේ සියලු ගැටළු විසඳ ගත හැක. මෙවැන්නක් නිකන් ලබා දීමට පාලකයා පෙලෙබෙන්නේ නැත, ඒ සඳහා අරගල කල යුතුය, ඒ සඳහා කාලය එලබ ඇත.


Saturday, July 28, 2012

උදේ හවස පන්සිල් ගන්න රටේ...

                              
                      "ටිකෙන් ටික සෙනග පාදමින් සිටි අන්ධ මිනිසා උත්සහ කලේ තමන්ගේ හඬ අවදි කිරීමට සුදුසු තැනක් සොයා ගැනීමටය. ඔහුගේ හඬත් සමග බසයේ සිටි අනෙක් මිනිසුන්ගේ අවධානය ඔහුට යොමු වුයේ ඇතැමුන්ගේ විවේචනයත් සමගිනි. මිනිසා අතේ තිබු රබාන වාදනය කරමින් ගායනය ඇරඹුවේය. ඔහුගේ ගීතය ඇතැමෙකුට වදයක් ද, තවකෙකුට ගයනයක්ද, තවත් පිරිසකට මෙම අවස්ථාව සුපුරුදු සිදුවීමක් විය. ඔහුගේ ගීතය අවසාන කරන්න ඉඩක් ලැබුනේ නැත, එක වරම බසයට නැගගත් තවත් මිනිසෙකු අන්ධ මිනිසා ඇදගෙන බසයෙන් එලියට ගියේය. පසුව අන්ධ මිනිසාට වේගවත් පහර කිහිපයක් එල්ල විය. දෑස නොපෙනුණු මේ කෙසඟ මිනිසා පහර කාගෙන විසිවී ගිය අතර ඔහුගේ අතේ තිබු රබානද විසිවී ගියේය. පහර දෙන අතරම තම පහරදීම සාධාරණය කල මිනිසා පැවසුයේ,

"මු හැමදාම බොනවා, මම ඇස් දෙකෙන්ම දැක්ක."

                             අන්ධ මිනිසා ගුටි කෑමට හේතු වුයේ ඔහුගේ මත්පැන් පානයයි. මෙම සිදුවීම මවිතයෙන් බලා සිටි පිරිස ඔහුගේ කතාව අසා අන්ධ මිනිසාට බැන වදින්නට විය. ඔවුන් ඉදිරියේ පහර කන්නේ ආබාදිතයෙකු බව ඔවුන්ට අමතක වී ගිය සේය. අවසානයේ පැමිණි බස් නැවතුම්පල නිලධාරියෙකු ගේ මැදිහත් වීමෙන් අනතුරුව සිද්ධිය සමතයකට පත් විය."

මෙම සිදුවෙම බස් නැවතූම්පලක මෑතකදී සිදු වූ සිද්ධියකි.

                                මෙවැනි ආකාරයෙන් මිනිසුන්ට පහර දීම හා අවට සිටින මිනිසුන් එම පහර දීම අනුමත කිරීම බුදුන් සරණ ගිය මිනිසුන් වැඩි ප්‍රමාණයක් සිටින රටක, පොතේ හැටියට ගතහොත් කිසිසේත්ම සිදු නොවිය හැකි දෙයකි. නමුත් කුමන හෝ ආකාරයකට එය සිදුවී තිබේ. මිනිසෙකුට අනුකම්පාව අවශ්‍යම මොහොතක ඒ වෙනුවට වයිරය ලැබීම තේරුම් ගැනීමට අපහසු ගැටලුවකි. යාචකයෙකු නම් සිටිය යුතු විදියක්, ආකාරයක් ඇත. මුළු ජීවිත කාලයම දුක විඳිය යුතුය. වහරිලි ඇඳිය යුතුය. කවදාවත් හොඳ නොවන තුවාල තිබිය යුතුය. අත පය හොඳට තිබේ නම් බැනුම් අසන ප්‍රමාණය වැඩිය. සුරාව, ගැහැණිය අකැපය. එය සමස්තය සිතන හැටිය, මෙම රාමුවෙන් පිට යන යාචකයාට සිදු වන්නේ ගුටි කෑමට බව ඉහත සිදුවීමෙන් පැහැදිලිවේ. එනම් යාචකයා ජීවත් විය යුත්තේ වෙනත් පිරිසකට වුවමනා එපාකම් වලට ගැලපෙන ආකාරයකටය, හැකි මිනිසා සිතන්නේ නොහැකි මිනිසාට ජීවත්වීම හැර වෙනත් කිසිම අරමුණක් නොතිබිය යුතුයි යන්නය. තවද යාචකයාගේ දරුවන්ට පවා සුව පහසු ජීවිතයක් අකැපය.
                         සමහර විට ඉහත සිදුවීමේ පහර දෙනු ලැබූ මිනිසා අන්ධ මිනිසාට කිසිම දවසක ආධාරයක් නොකල කෙනෙකු විය හැක. බහුතරයක් යාචකයන් මෙවැනි සිදු වීම් වලින් ගුටි කන්නේද බැනුම් අසන්නේද ඔවුන්ට කවදාවත් ආධාර නොකල මිනිසුන්ගෙනි. මෙවැනි මිනිසුන් අතමන්ට යාචකයා ගැන නැගෙන අනුකම්පාව තමන්ටම වදයක් වන විට එය නැති කරගැනීම සඳහා යාචකයා බොරුකාරයෙකු යයි සිතමින් කියමින් තමාවම රවටා ගනියි. වෙනත් මිනිසුන් තමන්ව ලොබයෙකු ලෙස දකීවි යන බයටද සමහරුන් යාචකයන්ව විවේචනය කරයි. කෙසේ වෙතත් ආධාර කිරීම හෝ නොකිරීමේ අයිතිය ආධාර කල හැකි මිනිසා සතුය. නමුත් හේතුවක් නැතිව මිනිසුන් විවේචනය කිරීමේ හෝ පහර දීමේ අයිතිය කිසිවෙකුට නැත.
                    අපේ වගේ හොඳ ආගමක් ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැහැ එහෙම තමයි මිනිස්සු කියන්නේ එත් වෙන සිදු වීම් එක්ක බැලුවහම පෙන්නේ ගොඩක් දෙනෙක් හදන්නේ තවත් කෙනෙක් පීඩාවට පත් කරලා සතුටු වෙන්න. මිනිස්සු මරණ ඒවා අතුරුදහන් වෙන ඒවා සාධාරණය කරන්න ගොඩක් දෙනෙක් ඉන්නේ ඒ හින්ද අවනීතිය රජකරන සමාජයකට මිනිස්සු විරුද්ධ වෙලා නැහැ. උතුරේ මිනිස්සු මැරෙද්දි දකුණේ මිනිස්සු කිරිබත් කෑවේ බඩගින්නට නම් නෙවෙයි...

Monday, July 16, 2012

සිගරට්, ගල් එක්ක මල්...

                               ලාංකීය සමාජය තුල මත් ද්‍රව්‍ය(මත් පැන්, දුම් වැටි.....) භාවිතය යනු වරදකාරී නැතහොත් නරක භාවිතයක්. ඇත්තටම මත් වීම යනු නරක සිදුවීමක්ද? මොලය මගින් කායික මානසික සියලු දේ පාලනය කරනු ලබන අතර, මත් වීම සම්බන්ධයෙන් මගේ අත්දැකීම නම් මොලය මගින් පාලනය කරන සියලු දේට තාවකාලික නිදහස ලබාදීමක්. ඇඟට ඇතුළුවන මත් ද්‍රව්‍ය ප්‍රමාණයට අනුලෝමව මෙම නිදහස වැඩි වීම දැකිය හැක. කෙසේ වෙතත් මත් ද්‍රව්‍ය භාවිත නොකරන්නා ලාංකීය සමාජය තුල හොඳ පුද්ගලයෙකු ලෙස හඳුන්වා දෙන අවස්ථා ඕනෑ තරම් දැකිය හැක. මා දකිනා ආකාරයට මත් ද්‍රව්‍ය යනු මිනිසාට අවශ්‍ය දෙයකි. මෙය මෙසේ පැවසිය හැක, ජලය හැර වෙන ඕනෑම පානයක් මිනිසාට අවශ්‍ය වන්නේද ඒ ආකාරයටම මත් ද්‍රව්‍ය එය භාවිතා කරන්නට අවශ්‍ය වේ. තවත් ආකාරයකට මෙසේ පැවසිය හැක. අප රටේ බොහෝ මිනිසුන් තේ පානය කරනු ලබයි. තේ පානය නොකරන මිනිසුන්ද ඇත. අවශ්‍යනම් තේ පානය නොකරද සිටිය හැක. ඉහත තේ වෙනුවට මත් පැන් ආදේශ කළහොත් වරදක් නැත. එසේ නම් මත් ද්‍රව්‍ය කෙරෙහි මහා වරදකාරී ස්වභාවයකින් දකින්නට මිනිසුන් පෙළඹ සිටින්නේ මන්ද? සමහර මිනිසුන් එයට හේතු මෙසේ දක්වයි.
                                               මත් ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව භාවිතා කල පුද්ගලයා මගින් අනෙක් මිනිසුන්ට සිදුවන කරදරය, මත් ද්‍රව්‍ය භාවිතා කරන්නාට ඇඟිල්ල දික් කිරීමට
හේතුවක් වී ඇත. බොහෝ අවස්ථාවන් හිදී මෙම කරදරකාරයන් මත් ද්‍රව්‍ය භාවිතා නොකරන අවස්ථාවන් වලදීද කරදරකාරයෙකු බව දැකිය හැක. මත් ද්‍රව්‍ය භාවිතයෙන් පසු කරදරකාරී ස්වභාවය වැඩිපුර දැකිය හැක. නමුත් මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතරින් මෙවන් මිනිසුන් සිටින්නේ බොහෝ සුළු ප්‍රමාණයකි.
                     දෙවැනි කාරණය ලෙස දක්වන්නේ මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන් හට සිදුවන කායික හා මානසික හානියයි. මත් ද්‍රව්‍ය භාවිතයෙන් යම් තරමක  යම් මානසික මෙන්ම කායික හානියක්ද ඇත. එය මත් ද්‍රව්‍ය භාවිතා කරන ඕනෑම කෙනෙක් දනී. සාමාන්‍ය භාවිතයේ පවතින ආහාර අතරින් මෙසේ හානි වන එකම  දෙය මත් ද්‍රව්‍ය නොවේ. කෘතීම රසකාරක සහිත ආහාරයක් පමණක් මාස දෙක තුනක් එක දිගට ආහාරයට ගතහොත් එය මගින් එම පුද්ගලයාගේ ශාරීරික හානිය කොපමණ දැයි දැකිය හැක. දිනපතා මත් ද්‍රව්‍ය භාවිතා කරන්නෙකුගේ කායික හානියට වඩා දරුණු විය හැක. නමුත් ඔබ මත් ද්‍රව්‍ය වලට දක්වන විරෝධයට සාපේක්ෂව මෙවැනි
ආහාරයන්ට දක්වන විරෝධය කොපමණ දැයි මදක් සිත බලන්න. බොහෝ මිනිසුන් මත් ද්‍රව්‍ය බාවිතා කරන්නන්ගේ කායික හා මානසික හානිය ගැන දුක් වන්නේ හෝ එයට විරෝදය දක්වන්නේ ඇත්තටමද නැතහොත් වෙනත් දෙයකටද?
                            මත් ද්‍රව්‍ය
භාවිත කරන පුද්ගලයා කේන්ද්‍ර ගතවන අනෙක් කාරණාව නම් ඔව්න් වියදම් කරන මුදල් ප්‍රමාණයයි. කෙනෙකු යම් මුදලක් උපයන්නේ නම් එය තමන්ට කැමති පරිදි වියදම් කිරීමට හැකි විය යුතුය. කෙසේ වෙතත් මේ ආකාරයෙන් මත ද්‍රව්‍ය වලට විරෝධය දක්වන්නා විරෝධය දක්වන්නේ සබැ පදනමක් ඇතුව නොවන බව පැහැදිලිය.

------------------------------------------------------------------------------------------------------------                         හුදෙක් මෙම උත්සාහය මත් ද්‍රව්‍ය භාවිතය සාධාරණය කිරීමට නොවේ. තවත් මිනිසෙකුට කරදරයක් නොවන ආකාරයෙන් මත් ද්‍රව්‍ය බාවිතා බාවිතා කරන්නේ නම් එය සාධාරණ, අසාධාරණ, හරි හෝ වැරදි ලෙස අර්ථ දැක්විය නොහැක මන්දයත් භාවිතා කරන්නාගේ මොනයම් හෝ අවශ්‍යතාවයක් මත ඔහු එය භාවිතා කරයි. දිනපතා මත් ද්‍රව්‍ය බාවිතා කරන්නන් අතරින් බොහොමයක් දෙනා අවුරුදු තිස්පහට වැඩි මිනිසුන් වේ. ජිවිතයේ බොහෝ ඇත දැකීම් ඇති මොවුන් මෙසේ මත් ද්‍රව්‍ය දෙසට යොමු වන්නේ කුමක් සැලකිය යුතු කාරණාවක් නිසා බව පැහැදිලිය. ජීවිතයේ අතෘප්තිකර අසහනකාරී ස්වභාවය රැකියා ස්ථානයේදී ඇතිවන මානසික පීඩනය, බලාපොරොත්තු වන විවාහ ජිවිතයක් නොලැබීම වැනි විවිධ හේතුන් මත බොහොමයක් මිනිසුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වනවා දැකිය හැක. ජීවිතයේ අවසාන සමය ගෙවන බොහෝ මිනිසුන් කාර්මිකයන් ලෙස සේවය කරන අවස්ථා ලාංකීය සමාජය තුල ඕනෑ තරම් දැකිය හැක. මෙම මිනිසුන් බොහොමයක්  තම කායික වේදනාව අඩු කර ගැනීම සඳහා මත් ද්‍රව්‍ය භාවිතා කරයි. 
------------------------------------------------------------------------------------------------------------
විඳවනවා වෙනුවට විඳිය හැකි මින්සුන් සිටින
සමාජයක් නිර්මාණය කල හැකි නම් මත් ද්‍රව්‍ය භාවිතා කරන මිනිසුන් ප්‍රමාණය වඩා, මත් ද්‍රව්‍ය විවේචනය කරන මිනිසුන් ප්‍රමාණය අඩු කරගත හැක

Monday, July 9, 2012

විශ්ව විද්‍යාලයක ගෝත්‍ර දෙකක්


                              පිරිසක් ගැවසෙන තැනක ගැටුමක් ඇතිවීම ස්වභාවික සිදුවීමකි. ගැටුමක් ඇති වීමට හේතුවක් තිබිය යුතුය, මෙසේ හේතුන් සලකා බැලුවහොත් බොහෝ හේතුන් ගැටුමකට පෙර විසදුමකට පැමිණිය හැකි හෙතුන්ය. මතවාදයන් අනුව පාර්ශව බිහිවීම සාමාන්‍යයෙන් සිදුවන සිද්දියකි. කාලයක් යාමේදී මෙම පාර්ශව තුලින් පොරත්වය්ක් අපේක්ෂා කරන පිරිසක් බිහිවෙයි මෙම පිරිස කවදාවත් තම පාර්ශවය අනෙකුත් පාර්ශවයන් සමග සම්බන්ද වීමට කිසිවිටකත් ඉඩ නොදෙයි. මන්දයත් එමගින් ඔවුන්ගේ තැන ඔවුන්ට අහිමි වී යාමේ අවදානමක් පැවතීමයි. තම පාර්ශවයේ මතවාදය වැරදි බව දන්නා නමුත් තමන්ගේ පුද්ගලික වුමනාවන් මත විශාල පිරිසක් අනතුරේ දැමීම මෙම පොරත්වය අපේක්ෂා කරනවුන්ගේ අදහස බව අමුතුවෙන් කිව යුතු නැත. යම් පාර්ශවයක මතවාදය දුර්වල වන තරමටම එතුල අදක්ෂයන් හා වෙනත් අරමුණු කරා යන පිරිසක් ඉතිරි වීම දැකිය හැක.
                                          මා දන්නා විශ්ව විද්‍යාලයක වසරක් පාසා එකම පීඨයක්   තුල ගැටුමක් ඇතිවෙයි. එම පීඨයේ සිසුන්ට එය සාමාන්‍ය සිද්දියකි මන්දයත් අවුරුදු හත අටක සිට නොකඩවා මේ දක්වා මෙම ගැටුම සිදු වී ඇත. මෙසේ එකම පීඨයක් තුල මත දෙකක දෙපිරිසක් සිටීම හා ඔවුන්ගේ ගට්ටනකාරී වාතාවරණය සිසුන්ගේ පාර්ශවයෙන් ගත කල ඔවුන්ට කිසිසේත්ම සුභදායක නැත. මෙම පීඨයේ සාමාන්‍යයෙන් ගැටුම් ඇතිවන්නේ නවක සිසුන් අදාල පීඨයට ඇතුලත් වීමේදීය දෙපාර්ශවයම තම පිරිස වැඩි කර ගැනීම සඳහා නවක සිසුන් බෙදා ගැනීමට පොරකන අතර අවසාන ප්‍රතිපලය ගැටුමක් දක්වා වර්දනය වෙයි. එක එක පාර්ශවයන්ට අසුවන නවක සිසුන් අදාල පාර්ශවයන තුලදී එම පාර්ශවයන් වල ජෙෂ්ට සිසුන්ගේ බොරු මුලා කිරීම් වලට හසුවන අතර උපාදිය අරමුණු කරගෙන විශ්ව විද්‍යාලයට පැමිණි සිසුවා වෙනත් අරමුණු කරා යොමු කරවීම ක්‍රමයෙන් සිදු වෙයි. යථාර්තය බොහෝ දෙනෙකුට වැටහෙන්නේ කාලයක් ගතවීමෙන් පසුවය. අවසානයේ පොරත්වය අපේක්ෂා කරන දහයක පහලවක පිරිසක් එක් එක් පාර්ශවයන් තුලින් ඉතිරි වෙයි.
                                             මෙසේ ඉතිරි වන පිරිස අතර ප්‍රධාන සමානකම් කිහිපයක් දැකිය හැක. මේ අතරින් බොහෝ දෙනෙකු දුෂ්කර පළාත් වලින් කොළඹ පැමිණි අය  වෙති. ඇතැමුන් පාසල් කාලයේදී කොන් වී සිටිය වුන් අතර ඒ කාලයේ නැති වූ දෙය කුමන හෝ ආකාරයෙන් මෙතනදී ලබා ගැනීමට පෙළඹෙයි. කාලයක් යාමේදී අදාල ක්ෂේත්‍රයන්ගේ අධ්‍යන කටයුතු මග හැරෙන අතර වෙනත් ක්ෂේත්‍ර වලට මාරු වන පිරිසක් ද වෙති. තමන්ගේ බලය වැඩි කර ගැනීම සඳහා දේශපාලන සරණ සොයායාම දෙපාර්ශවයටම පොදු දෙයකි. අවසානයේ පාලකයන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර දෙන පිරිසක් බිහිවන ආකාරය ඕනෑම කෙනෙකුට දැකිය හැක. විශ්ව විද්‍යාලයට පැමිණෙද්දී තිබු අරමුණ වෙනුවට පාලකයන්ට කබුරන්නෙකු විශ්ව විද්‍යාලයෙන් එලියට යාම කණගාටුදායක කරුණකි. කෙසේ වෙතත් මානසික රෝගින් හා පාලකයන්ට කඩේ යන්නන් සිටින පීඨයක සැබෑවටම අධ්‍යන කටයුතු කරන සිසුන්ට සිදුවන සාධාරන්තාවය කුමක්දැයි විමසා බැලීම වටි. ගැටුම් නිසා සිදුවන විශ්ව විද්‍යාලය වසා දැමීම  හා විශ්ව විද්‍යාලයේ සිටිය හැකි කාලය සිමා කිරීම් වැනි හේතුන් මගින් විශාල පිරිසකට සිදු වන්නේ බරපතල අසාධාරණයකි.
                                                  සිසුන්ට ඇති නොයෙකුත් ප්‍රශ්න හමුවේ ඒවාට එරෙහිව කතා කිරීමට පිරිසක් නැති වීම හා පාලකයාගේ උවමනා එපා කම් ඉටුකර දෙන පිරිසක් බිහිවීම කල්ලි වාදයේ එක ප්‍රතිපලයක් ලෙස දැකිය හැක. මෙහි අනතුරුදායක තත්වය වන්නේ නවක සිසුන් මෙම අනතුරට ගොදුරු වීම හා විශ්ව විද්‍යාල සංස්කෘතිය ලෙස ඔව්න් හදුනා ගන්නේ මෙම ක්‍රමය වීමයි.